This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 04:14
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

ක්‍රියාවලිය, දියුණුව හා මහජනතාව

මාධ්‍ය හිමිකාරීත්ව විනිවිදභාවය පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව පිහිටන්නේ කොතැනකද?

වඩාත් දියුණු කළ මාධ්‍ය නිදහස සහ තොරතුරු වෙත ප්‍රවේශය විෂයෙහි ඇති වැදගත්කම සම්බන්ධයෙන් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා රජය මගින් ප්‍රකාශ කොට සිටිනා පසුතලයක, මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳ විනිවිදභාවය මහජන ලැදියවට අයත් කතිකාවක් බවට පත්ව ඇත. මාධ්‍ය හිමිකාරීත්වය සම්බන්ධ තොරතුරු වෙත ප්‍රවේශ වීම කළ හැකි වුවත්, ඒ සම්බන්ධයෙන් වඩාත් ඉහළ විනිවිදභාවයක් සෙවීමේදී ඉහළ මූල්‍යමය පිරිවැයක් ගෙවීමට සිදුවේ. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ (MOM) කණ්ඩායමේ සොයාගැනීම්, (1) මාධ්‍ය හිමිකාරීත්ව විනිවිදභාවයේ ප්‍රතිලාභයන් සහ (2) මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා දැනට තිබෙනා ක්‍රියාදාමයන් හා ඒවායේ වාසි සහ අවාසි යන දෑ විස්තරාත්මකව දැක්වීම ඉලක්ක කොට ගනී. ඊට අමතරව අධ්‍යයනයට ලක්වූ එක් එක් මාධ්‍ය ආයතනයක විනිවිදභාවය පිළිබඳ දර්ශකයක්ද අපගේ සොයාගැනීම් තුළට අයත් වේ.

(1) මාධ්‍ය හිමිකාරීත්ව විනිවිදභාවයේ ප්‍රතිලාභයන්

මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳ නිරවද්‍ය සහ යාවත්කාලීන වූ තොරතුරු ලබාගැනීමට තිබීම, වඩාත් හිතකර ප්‍රජාතාන්ත්‍රික පද්ධතියක් නිර්මාණය වෙත මුල් ගලක් වනු ඇත. මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳ විවෘතව ඇති දැනුම, මාධ්‍ය හිමිකරුවන්ට මෙන්ම මහජනතාවටද අන්‍යාන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලබාදෙනු ඇත. මාධ්‍ය හිමිකාරීත්ව විනිවිදභාවයේ ඇති ඇතැම් ප්‍රතිලාභ පහත පරිදි වේ:

1.    තොරතුරු සපයන්නන් සහ මහජනතාව අතර විශ්වාසනීය සහ වගවීමක් සහිත සබඳතාවයන් නිර්මාණයට හැකියාව ලැබීම;

2.    මාධ්‍ය සංකේන්ද්‍රණය හා බහුවිධතාවය වැනි සංකල්ප පිළිබඳව මාධ්‍ය හිමිකරුවන්, නියාමකයින් සහ මහජනතාව අතර කතිකාවන් ඇතිවීම සඳහා පහසුකම් ඇති කිරීම;

3.    මාධ්‍ය සංකේන්ද්‍රණය වීම කෙරෙහි හරවත් පාලනයන් ඇති කිරීමට සඳහා ඉඩ ලැබීම සහ ඒ නයින් වඩා හිතකර, තරගකාරී වෙළෙඳපොළ සඳහා මෙන්ම දූෂණය අවම කිරීමට අනුග්‍රහය ලබාදීම.

(2) මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු වෙත ප්‍රවේශය

ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු වෙත ප්‍රවිශ්ට වීම සඳහා ක්‍රියාවලීන් තුනක් මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම මගින් හඳුනාගෙන ඇත. ඒවා නම්: (අ) මාධ්‍ය ආයතනයෙන්ම තොරතුරු ඉල්ලා සිටීම, (ආ) සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් (ROC) තොරතුරු මිලදී ගැනීම සහ (ඇ) තොරතුරු පනත (RTI) ඔස්සේ ඉල්ලීමක් ගොනු කිරීම වේ. මෙම ක්‍රියාදාමයන්ගේ වාසි සහ අවාසි පහත දක්වා ඇති පරිදි වේ.

)     මාධ්‍ය ආයතනයෙන්ම තොරතුරු ඉල්ලා සිටීම

ආයතනික විනිවිදභාවය යන්න සාමාන්‍යයෙන් ගත් විට මාධ්‍ය ආයතනයක් ඉල්ලීමක් ඔස්සේ තොරතුරු සැපයීමට දක්වන කැමැත්ත ලෙසින් තේරුම් ගත හැක. මෙහිදී හිමිකරුවන්ට තමන්ගේ නාලිකාවන් හෝ ප්‍රකාශනයන් ඔස්සේ තම හිමිකාරීත්වය ප්‍රසිද්ධියේ දර්ශනය කිරීමට හෝ එම තොරතුරු සඳහා ඉල්ලීම් කිරීමට මහජනයාට අවකාශ සැපයීම කළ හැක.

වාසි: මහජනතාවට තමන්ගේ හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට හිමිකරුවන් දක්වන කැමැත්ත මගින් ඔවුන් හිමිකාරීත්ව විනිවිදභාවයේ වාසි හඳුනාගෙන ඇති බව පිළිබිඹු වනු ඇත. එසේම ඒ මගින් මහජනතාවට සෘජු තොරතුරු ගනුදෙනුවක් ලෙසින් මුල් මූලාශ්‍රයෙන්ම තොරතුරු ලබාගැනීමට හැකියාව ලැබේ.

අවාසි: හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු ලබාගැනීමට ඇති වඩාත්ම සඵලදායී ක්‍රමය මෙය වුවත්, හිමිකරුවන් විසින් ‍තෝරාගත් තොරතුරු පමණක් අනාවරණය කිරීමේ ඉඩක්ද ඇත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් යම් මාධ්‍ය සමාගමක හිමිකාරීත්වය වෙනත් සමාගම් ගණනාවක් මගින් දරන්නේ නම්, මහජනතාව එහි ප්‍රකෘති හිමිකරුවන් එනම් 'සැබෑ' හිමිකරුවන් නැතිනම් මෙම කොටස් හිමිකාර සමාගම් පසුපස සිටිනා හිමිකරුවන් කවුරුන්දැයි දැන නොසිටිනු ඇත. තවදුරටත් බලකාර හිමිකරුවන් ප්‍රකෘති හිමිකරුවන් ලෙසින් ලැයිස්තුගතව ඇතිනම්, එවිටද එම මාධ්‍ය ආයතනයේ 'සැබෑ' හිමිකරුවන් හඳුනාගැනීමට මහජනතාවට නොහැකි වනු ඇත.

 )    සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (ROC)

ශ්‍රී ලංකාවේ මාධ්‍ය සමාගම් ඇතුළු පෞද්ගලික සමාගම් ලියාපදිංචි කිරීම පාලනය කරනා එකම ආයතනය ලෙසින් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවතී. සමාගම් වල හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු එක් ‍රැස් කිරීම සඳහා විශ්වාසයෙන් පවරා ඇති රාජ්‍ය ආයතනයක් ලෙසට මෙය පහත තොරතුරු සඳහා ප්‍රවේශය සැපයීමට බැඳී සිටී. ඒවා නම්: සංස්ථාපිත කිරීමේ ගිවිසුම්, කොටස් ලේඛනයන් සහ අධ්‍යක්ෂවරුන්ගේ ලේඛනයන් හා සම්බන්ධ තොරතුරු වේ. සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත සිදුකරනා මුදල් ගෙවීමකින් පසුව මෙම තොරතුරු ලබාගත හැක.

වාසි: සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යනු රජයේ ආයතනයක් වන බැවින්, ඒ ඔස්සේ ලබාගත හැකි තොරතුරු විශ්වාසනීය ලෙසින් සැලකේ. තවදුරටත්, තොරතුරු අවශ්‍ය කරන සමාගම් වල ලියාපදිංචි අංකයන් සහ අදාළ ගොනු ලබාගැනීම සඳහා පවතින්නේයැයි සැලකූ විට, එම තොරතුරු සඳහා එක් දිනක් ඇතුළත ප්‍රවේශ වීමේ හැකියාව තිබේ.

අවාසි:

·       ශ්‍රී ලංකාවේ සහ විදේශගතව සිටින්නන්ගේ හිමිකාරීත්ව තොරතුරු සඳහා ප්‍රවේශ විය හැක්කේ කොළඹ ඇති සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් පමණි;

·       සමාගමක ගොනු නිරීක්ෂණය කිරීම සඳහා වන පිරිවැය ශ්‍රී ලංකා රුපියල් 1,150 කි (ඇමරිකානු ඩොලර් 7.28). එක් එක් ගොනුවක ඇති තනි ෆෝරමයක සහතික කළ පිටපත්ද ඊට සමාන මුදලක් වන අතර, ඒ සඳහා අවම දින 4-5 ත් අතර කාලයක් ගතවේ;

·       වාර්ෂික වාර්තාවන් දශකයකට ආසන්න කාලයකින් ගොනු කොට නොමැති වීමත් සමග, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන ගොනු වල ඇතැම් ව්ට කල් ඉකුත්වූ තොරතුරු ඇතුළත් විය හැක. එසේම මෙම ලිපිගොනු අයහපත් තත්වයන් යටතේ ගබඩා කොට තැබීම නිසා ඇතැම් ෆෝරමයන් නැතිවීමට මෙන්ම, කෘමීන් නිසා ඇතැම් ගොනු දිරාපත් වීමට හා වියැකීමට ලක්වේ; 

·       ඡායාරූප හෝ ස්කෑන් කළ රූප නොමැති විය යුතු වීම වැනි දැඩි නියාමනයන් හේතුවෙන්, දත්ත A4 කඩදාසි වල පැන්සලෙන් ලිවිය යුතුවේ. මෙම සමස්ත ක්‍රියාවලියම එයින් පීඩාකාරී හා කාලය නිරපරාදේ වැය වන එකක් වී ඇත. එසේම ඒවා අතින් ලියූ සටහන් නිසා එහි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අභියෝග කිරීමේ හැකියාවක්ද ඇත.

)    තොරතුරු පනත (RTI)

මාධ්‍ය හිමිකාරීත්ව තොරතුරු සෘජුවම මාධ්‍ය ආයතනයෙන්ම හෝ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සම්මත ක්‍රියාවලිය ඔස්සේ ලබාගැනීමට හැකි විකල්ප ක්‍රමවේදයක් වන්නේ, තොරතුරු දැනගැනීමේ (RTI) පනත ඔස්සේ අයදුම්පතක් ගොනු කිරීම වේ.

වාසි: ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍යයන්ගේ සංඛ්‍යාත වෙන් කොට දෙන්නේ රජය මගින් බැවින්, එවැනි මාධ්‍යයන්ගේ හිමිකාරීත්ව තොරතුරු ලබාගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ කරන ඉල්ලිම් භාවිතා කළ හැක.

අවාසි: 

·       තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍ර, ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍යයන්ගේ හිමිකාරීත්ව තොරතුරු දැනගැනීම සඳහා භාවිතා කළ හැකි වූවත්, මුද්‍රිත මාධ්‍ය සඳහා එය භාවිතා කළ හැකි නොවේ. මන්දයත්, ප්‍රකාශන සමාගම් රජයේ මුද්‍රණ සේවාවන් මත නොයැපෙන බැවිනි.

·       මෙම ක්‍රමය භාවිතය මගින් අයදුම්කරුවෙකුට සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අතින් සටහන් තැබීමේ ක්‍රියාවලිය හෝ අනිවාර්ය මුදල් ගෙවීම මග හැර යන්නට අවස්ථාවක් ලබා නොදේ.

·       මෙම ක්‍රියාවලිය බොහෝ කාලය ලබාගනු ඇත (අවම සති දෙකක සිට මාස හයක් දක්වා). 

 

ශ්‍රී ලංකාවේ විනිවිදභාවය පිළිබඳ ඇගයුම් කිරීම

 මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම මගින් එක් එක් මුද්‍රිත, ගුවන් විදුලි, රූපවාහිනී සහ ඔන්ලයින් මාධ්‍යයක විනිවිදභාවය, මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ ක්‍රමවේදයට අනුව ඇගයුම් කර ඇත. මෙම මාධ්‍ය නාලිකාවන් හා ප්‍රකාශනයන් 46 ක ප්‍රතිඵල පහත පරිදි වේ:

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ